ඕක මොකද්ද අපේ හාමුදුරුවෝ නම්……………….

අපි පොඩිකාලේ අපි උත්සාහ කරන්නෙ කොහොම හරි කරල අපේ අම්මා, තාත්තා අනිත් අයගේ දෙමාපියන්ට වඩා වැඩ කාරයෝ කියල පෙන්නන්න. “අපේ තාත්තට පුලුවන් සිමෙන්ති කොට්ටයක් තනි අතින් උස්සන්න.” “ඕක මොකද්ද අපේ තාත්තට පුලුවන් කොට්ට දෙකක්ම එක අතින් උස්සන්න.” ඔය වගේ මොන බේගලයක් හරි ඇදබාලා අපි දිනන්න තමා හදන්නෙ. ඕන්න ඔය වගේ වැඩක් සිද්ධ උනාලු ගම් දෙකක උපාසකම්මලා දෙන්නෙක් අතර. හොඳ වෙනුවට මේ දෙන්නගේ ට්‍රයි එක කොයි පන්සලේ හාමුදුරුවොද වැඩියෙන්ම දුශ්සීල කියල බලන්න. ඉතින් දෙන්න බරපතල විදියට එකින් එක හාමුදුරුවන්ගේ වැරදි එලියට අදිනවා. පටන් ගන්නෙ හරියට බණ කියන්න බෑ, ගාථා වරද්දනවා වගේ ඒවයින්. ඒන්න එන්න තත්වය බරපතල වෙනව. දෙන්නම අනිත් එක්කෙනාට වැඩි බරපතල චෝදනා එල්ල කරනව.

“අපේ හාමුදුරුවෝ අර මිනිහ මැරිච්ච ඇසිලින් එක්ක යාලුයිනේ..”

ඉතින් අන්තිමට එක උපාසකම්මා කෙනෙක් ගැහුවා අන්තිම තුරුම්පුව. එයාට හොඳටම විශ්වාසයි මීට වඩා නරක එකක් හොයාගන්න බෑ කියල. අනිත් උපාසකම්මත් අතඇරියේ නෑ ගැහුවා එයාගේ අන්තිම තුරුම්පුව.

“ඕක මොකද්ද අපේ හමුදුරුවෝ රෑටත් කනවා.”

මේ කතාව මට කිව්වේ මම කාලයක් ඇබිත්ත කම් කරපු ගාල්ල පලාතේ පන්සලක හාමුදුරු කෙනෙක්. ඇත්ත කතාවක් කියල තමයි කිව්වෙ. අනේ මන්ද ඉතින්. ඇත්ත නැත්ත කොහොම උනත් මේ කතාවෙන් කියන්න හැදුවේ අපේ සමාජයේ හාමුදුරුවෝ රෑට කන එක ගැන කොච්චර වද වෙනවද කියන එක ගැන. සාමනේර දස ශීලයේ විකාල භෝජනා ශික්ෂා පදය වගේම මිල මුදල් පිලිගැනීම ගැනත් ශික්ෂා පදයක් තියෙනව. ඒ උනත් හාමුදුරුවෝ සල්ලි පාවිච්චි කරන එක ගැන කවුරුත් වද වෙන්නෙ නෑ. හවස් වෙලා හිරමණේ සද්දෙ ඇහෙනවද කියල කන් දීගෙන ඉන්න අය රෑට පොඩි හාමුදුරුවන්ට වෙන අතවර ගැන කරදර වෙන්නෙ නෑ.

මම කියන්නෙ නෑ හාමුදුරුවරුන්ට රෑට කන්න නිදහස තියෙන්න ඕනෙ කියල. ඒත් රෑට කෑවට පාරාජිකා වෙන්නෙත් නෑ. මම පෞද්ගලිකව දන්නව රෑට නොකා ඉන්න එක මහ ලොකු අමාරු වැඩක් නෙමේ කියල. මම රෑට නොකා ඉඳල පහුවෙනිද උදේ කිසි ප්‍රශ්නයක් නැතුව හැතැම්ම දෙක තුන පිණ්ඩපාතේත් වැඩල තියෙනව. මුල් කාලෙ ටිකක් අමාරු උනාට පස්සෙ පස්සෙ පුරුදු උනාම හරියනව. මම මේ ගැන කරදර වෙන්නෙ මේකෙන් ලොකු බලපෑමක් පොඩි හාමුදුරුවරුන්ට තියෙන නිසා. අවුරුදු 10-12 පොඩි උන්ව මේ විදියට බඩගින්නෙ තියන එක ලොකු පවක්.

මේ පොඩි කතාව අවසානයෙත් කියන්න තියෙන්නෙ පොඩි උන් මහණ කරන්න එපා කියන එක තමා.

56 comments to ඕක මොකද්ද අපේ හාමුදුරුවෝ නම්……………….

  • බුදු හාමුදුරුවො රෑට කන්න එපා කියන්න ඇත්තේ එහෙම කළාම ඔය භාවනා වගේ ඒවට බාධා වෙන නිසා වෙන්න ඇති. වෛද්‍ය විද්‍යාව ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න වෙනවා ආහාර ජීරණය වීම සඳහා වැය වන ශක්තිය නිසා මොළයේ ක්‍රියාකාරිත්‍වයට වෙන් කරන ශක්ති ප්‍රතිශතය අඩු වෙනවද කියලා.

    ඉතිං ඒ වගේ වැඩක් කරන්නේත් නැත්නම්, කරන්නේ නිදාගන්නා එක නම් (මේ කියන්නේ හාමුදුරුවරුන්ට රෑට නොනිදා භාවනා කරන්න කියා නොවේ!), නොකා ඉන්න එකේ තේරුමක් නෑ නෙ?

    අනික, දහයෙ බල වලිං පොඩි උං මහණ කිරීමේ හෙවත් fresh meat ලබාගැනීමේ “පිංකං” වල ප්‍රතිඵල විදියට සිවුරට බලෙං ඔබ්බපු පොඩි එවුං, භාවනා කරන්න තියා තමං දාගෙන ඉන්න fancy dress එකේ තේරුමවත් දන්න නෑ. ඉතිං එහෙව් පොඩි එවුං බඩගින්නේ තියන්නේ අහවල් එකටද?

    කීවත් වගේ, අච්චරක් මහණ කළා – මෙච්චරක් මහණ කළා කියලා තමංගෙ “පිං පොතේ” ලියාගන්න උල උලා බලා ඉන්න නාකි උන්නාන්සෙලගෙ ගොං ගං කෙළවර කලොත්, මේ ප්‍රශ්න එන්නෙ නෑ. කැමති කෙනෙක් කාවි – නැත්තං නොකා ඉඳීවි. කවුරුවත් අහිංසක පොඩි එකෙකුට ඒකෙං කරදරයක් වෙන්නෙ නෑ.

    • තරිඳු

      හාමුදුරුවරු රෑට කන්න ඕනෙද එපාද කියන එක විවාදාත්මක් කාරණයක්. මම ඒ ගැන මද්‍යස්ථව හිතන්නේ එක පැත්තකටවත් නැතුව. ඒ උනත් පොඩි උන් මේ වැඩෙන් අපහසුවට පත් කරන එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි.

  • [...] This post was mentioned on Twitter by Supun Budhajeewa, Tharindu Roshantha. Tharindu Roshantha said: http://wp.me/pNVmd-60 අපේ හාමුදුරුවෝ තොපේ හාමුදුරුවන්ට හපන් බොල [...]

  • ukkuwa

    හිරලුවගෝ *** අමාරුවක් තීයනව

  • V

    කාලෙකට පස්සේ අච්චාරුවක් දැන්මා නේද!
    වැඩිය විස්තරයක් ලියන්න බැ.දන්නවානේ හේතුව

    ඒක නෙමේ සුදන්ත සාදුගේ දින පොත ලියන්න එහෙම අදහසක් නැද්ද

  • රෑට කන්න එපා කියන්න ඇත්තේ පිණ්ඩපාතේ යන කොට ඇතිවෙන ප්‍රශ්ණ නිසා විය යුතුයි.

    රියදුරු බලපත්‍ර ගන්න වගේ වයස් සීමාවක් දාන්න ඕනැ මහණකමටත්.

    බුදු හාමුදුරුවොත් වැල යන අතට මැස්ස ගැහැව්ව එකනේ කලේ. ඔය දෙමව්වපිය අවසර නීතිය දැම්මේ සුද්දෝධන ඇවිත් වලි දැම්මට පස්සෙයි රාහුල ගේ කේස් එකට, එහෙම නේද, තරිඳු?

    • තරිඳු

      ඔව් කසූ. අනිවාර්යයෙන්ම වයස් සීමාවක් දාන්න ඕනෙ. ඔය ශික්ෂා පදවලට ගොඩක් හේතු උනේ යම් සිද්ධි තමා. නැතුව බුදු හාමුදුරුවෝ කවදාවත් හිතල මෙහෙම හොඳයිනේ කියල නීති දැම්මෙ නෑ. හැම සිල් පදයකටම හේතුවක්, කතාවක් තියෙනව.

  • තරු

    මෙතන උඹ ලියන ඒවට, ඇත්තෙන් ම දෙයක ලියල වැඩක් නැහැ. මොකද ඇත්ත ලිව්වොත් උඹ ඒ කමෙන්ට්ස් අයින් කරන නිසා.මේකත් ඕන නම් අයින් කරපන්..

    • තරිඳු

      අනේ මම කමෙන්ට්ස් අයින් කරන්නේ නම් නෑ. හැබැයි අමු තිත්ත කුණුහරප තිබ්බ ඒවනම් අයින් කලා. ඒව දැම්මෙ ඔබතුමාද එහෙනම් ?

      • තරු

        තව ම නම් කුණුහරුප ලිව්වෙ නැහැ.. ඒත් කමෙන්ට්ස් අයින් කරන්නෙ නැහැ කියල බොරුකියන්න එපා. ‍කොහොම නමුත්,ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ මූලිකව ම දෙපිරිසක් එකතු වෙලා.

        1. දුස්සීල පැවි‍ද්දෝ..
        2. දුස්සීල පැවිද්දන් ලග මහණ වෙලා ඉදල, ශ්‍රද්ධාව නසා ගෙන සිවුරු ඇරල ගිය උදවිය. මේ දෙගොල්ලො තමයි බුදු සසුන වනසන පාප කර්මයට හොදින් ම කර ගහල ඉන්නේ..

      • තරිඳු

        මැජික් පෙන්නල මිනිස්සුන්ව රවට්ටල ගරාගන්න පින්වත් ස්වාමීන් වහන්සේල ?

      • තරු

        සම්බුද්ධ ශාසනය වැනසෙන්නේ බුදු හාමුදුරුවෝ ගැනත්, ධර්මය ගැනත්, සංඝයා ගැනත්, මිනිසුන්ට තියෙන ශ්‍රද්ධාව වැනසීමෙන්. ඒක තමයි බුදු සසුන වැනසෙන්න මුල් වෙන්නෙ. පින්වත් හරි කවුරු හරි, මින්ස්සුන් ගේ ශ්‍රද්ධාව වනසනවා නම්, අන්න ඒ උදවිය යි, බුදු සසුන වැනසීමට වගකිව යුත්තේ..

      • තරිඳු

        ඇත්ත ඇති සැටියෙන් කීම නිසා ශ්‍රද්ධාව වැනසෙනවානම්, එතන ඒ ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාව ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමා ශ්‍රද්ධාවයිඔ භක්තියයි පටලවාගෙන. බුද්ධාගමේ ශ්‍රද්ධාව කියන්නේ බොහොම බරපතල කාරණයක්. ශ්‍රද්ධා බීජං (ශ්‍රද්ධාව බීජය) කියල බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි. නියම ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාව එහෙම ලේසියෙන් නැති කරන්න බෑ.

    • තරු

      මේව ඇත්තෙන් ම උඹට කියල වැඩක් නැහැ. මොකද බුද්ධ ශාසනය ගැන හැගීමක් ඇති මිනිහෙකුට යි මේව කිව යුත්තේ.. ඇත්ත ඇති සැටියෙන් කීම කියන්නේ ඕක නෙවෙයි. අනික අහල නැද්ද, ඇත්තක් උනත් කියනකොට පැති කිහිපයක් ම ගැන හිතන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා..

      • තරිඳු

        සමාවෙලා මට කියනවද බුදුහාමුදුරුවෝ එහෙම කියල තියෙන්නෙ කොහෙද කියල. එතකොට තව ඇත්ත ඇති සැටියෙන් කීම කියන්නෙ මොකද්ද කියලත් පැහැදිලි කරනවද ?

  • ඔයා මේ කතාවෙන් මතු කරන එක ප්‍රධාන කාරණයක් පොඩි දරුවන් මහණ කිරීමෙන් සිද්ධවෙන මහා අපරාධය. එය සමග මම සියයට සියයක්ම එකඟයි.

    නමුත් ඒ වගේම මේ කතාව ඈතුලේ (මට හිතෙන හෑටියට) තවත් අර්ථ තියෙනවා මතු කරගන්න. මෙතන හාමුදුරුවන්ගේ පිරිහීම මණින්නෙ රෑට ආහාර ගත්ත ද, නෑත්නම් ගෑනුකෙනෙක් එක්ක හිටියද කියන කාරණා උඩ. ලොකුම අපරාදෙ රෑට කෑම…!

    නමුත් මේ දෙන්නගේ වාදය තුළ කවදාවත් කියෑවෙයි ද ‘අපේ හාමුදුරුවො ජාතිවාදියි, බුදු දහමත් එක්ක කිසි සම්බන්ධයක් නෑති ඉතිහාසයක් බදාගෙන අද දවසෙ ජීවත්වෙන ජාතීන් අතර භේද ඈති කරන්න හදනවා’ කියල. එහෙම නෑත්නම් ‘අපේ හාමුදුරුවො යුද්දෙ වෙනුවෙන් කෑ මොර දුන්නට යුද්දෙන් පීඩාවට පත්වුණු අසරණ මිනිස්සු වෙනුවෙන් වචනයක් කතා කරන්නේ නෑ’ කියල. එහෙමත් නෑත්නම් ‘අපේ හාමුදුරුවො කුළවාදියි, මහණ කරන්නෙත් කුළේ බලල’ කියල.

    කවදාවත් ඒවා දුස්සීලකම් නෙවී නේද?

    රෑට බඩගිණි එනව නම් කෑවම මොකද, බඩගින්නේ විඳවන්නේ නෑතිව. ගෑනු කෙනෙක් එක්ක ඉන්න එක ඔයතරම් ම පාපයක් කියල කෑ ගෑහුවත් එයින් අපාගත වෙනවා ඈත්තෙ ඒ දෙ කළ භික්ෂුව විතරයි නේද (ඒක ඔය තරම් ලොකු පාපයක් නම්)?

    ඒත් මම මතු කළ කාරණා අපි සියළු දෙනාටම මිහිපිට අපායක් මවා දෙන පාප කර්ම නේද? සමහර විට පරම්පරා කීපයකටම විඳවන්න වෙන පාප කර්ම නේද ඒව?

    ඈයි අපිට ඒව පාප කර්ම ලෙස නොපෙනෙන්නෙ? අපේ ඈගයීම් රටාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් නේද මේ මතුවෙන්නේ.

    මේ ප්‍රශ්නයම මුදිත සහොදරය වෙනත් අකාරයකට කතා කර තිබුණා. ඉඩක් ලෑබුනොත් බලන්න. http://muditha05.wordpress.com/

  • @ තරු

    //ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කරන්නේ…//

    තරු.. ලකාවේ බුද්ධ ශාසනයයි ඉන්දියාවේ බුද්ධශාසනයයි කියල දෙක තුනක් නෑ නේද? තියෙන්නේ එක බුද්ධ සාසනයයි. ඒ බුදුහාමුදුරුවන්ගේ ශාසනය. ඒක මොකක්ද කියන එක “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන ගාතාවේ කියෑවෙනවා. ඒ කියෑවෙන හෑටියට නම් බුදුසසුන යනු අපි අපිටම රෑක ගත හෑකි හා රෑකගත යුතු එකක්.

    භික්ෂුවකගේ යහපත් කම මණින ආකාරය තුළ තියෙන බරපතල ප්‍රශ්නයක් මගේ උඩ තියෙන කොමෙන්ට් එකේ දාල තියෙනවා. ඒ ප්‍රශ්නයත් හිතේ තියාගෙන ඔයා “දුස්සීල පැවි‍ද්දෝ..” යන්නෙන් අදහස් කරන්නේ මොනවගේ අයද කියල විස්තර කරන්න පුළුවන්ද?

    • වචනවල එල්ලෙන්න එපා මචං. මම ලංකාවේ බුද්ධ ශාසනය කියල ලිව්වේ, ලංකාව විශේෂණය කරන්න මිසක්, බුද්ධ ශාසනය කොටස් කරන්න නෙවෙයි.

      තම තමන් ගේ සිත් තුළ නැග නැග එන කෙලෙස් වලට යට වෙන මිනිස්සුන් ගෙ අදහස් සහ, නිකෙලෙස් කෙනෙක් ගෙ අදහස් අතර තියෙන්නෙ අහස පො‍ළොව වගේ වෙනසක්. විශේෂයෙන් ම බුදු සසුන වැනසෙන හැටිත්, රැකෙන හැටිත්, භික්ෂුවකගේ යහපත් කම කියන්නේ මොකක්ද, අයපත් කම කියන්නේ ‍මොකක්ද, කියන මේ හැම දෙයක් ගැන ම, බුදු සසුන පිහිටවපු, භික්ෂූන් කියල කොටසක් බිහිකරපු නිකෙලෙස් හිතක් තිබ්බ, බුදු හාමුදුරුවෝ ම දේශනා කරල තියෙනවා. ඒ දේවල් වලට අපි සංශෝදන ඇති කරන්න යා යුතු නැහැ. දුස්සීල කම ත් සිල්වත් කමත් කියන්නෙ මොකක්ද කියන එක විනය පිටකයේ බුදු හාමුදුරුවෝ හොදින් ම දේශනා කරල තියෙනවා. ඒක කියවන්න කියල ආරාධනා කරනවා.

  • කාලෙකට පස්සෙ අච්චාරුවක් දාල තියෙන්නෙ. දිනපොත ගැනනං කතා කරල වැඩක් නෑ.

  • අනේ මන්දා.. මට උඹේ මුළු බ්ලොග් එකම කියවන්න වෙන හැඩයි…

  • @
    ස්තූතියි තරු පිළිතුරට.

    මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවො එක වෑඩසටහනක දී ප්‍රකාශ කළා “ධර්මය කියන්නේ සත්යයයි. එය කාටවත් වෙනස් කරන්න බෑ. බුදු හාමුදුරුවො එය කවරදාවත් වෙනස් කළෙත් නෑ. නමුත් ‘විනය’ කියන්නේ සත්යය නෙවේ. එය කිසියම් සංවිධානයක පෑවෑත්ම සම්බන්ධ ව්යවස්ථාවයි. එය කලින් කලට වෙනස් කරගත හෑකි දෙයක්. බුදුන් වහන්සේම තම ජීවිත කාලයේ දීම තමන් පෑන වූ විනය නීති වෙනස් කිරීමෙන් ම විනය යනු සත්යය නොවේ ය යන්න ඔප්පු වෙනවා” කියා. ඒ නිසා තරු යමක වටිනාකම මෑණිය යුත්තේ විනයට අනුව නොව ‘ධර්මයට’ අනුව බව මගේ පිළි ගෑනීමයි. ඒ ධර්මය මිස විනය සත්යය නොවන නිසා.

    විනයට අනුව භික්ෂුවගේ භික්ෂුත්වය නෑතිකරන ප්‍රධාන වෑරදි හතරක් තියෙනවා සතර පාරාජිකා කියල. ඉන් එකක් කාන්තාවක හා ලිංගික හෑසිරීම. එය අපි සියළුම දෙනා දන්නා දෙයක් වන අතර එවන් වරදක් කර හසුවන භික්ෂුව අප සියළු දෙනා අතින් ම ගර්හාවට ලක් වෙනවා. නමුත් මම දන්නා ප්‍රමාණයට බොරු කීම විශේශයෙන් ම තමන් තුළ නෑති ගුණ පෙන්වීමත් මිනිසුන්ගේ ප්‍රසාදය ලබා ගෑනීම සඳහා ගුණ මවා පෑමත් පාරාජිකා වීමට හේතුවක්. (මගේ දෑනුම වෑරදි නම් නිවෑරදි කරන්න) නමුත් මෙවන් වරදක් කරන භික්ෂුවට අපි සලකන්නෙත් පෙර දෑක්වූ මුල් වෑරද්ද කළ භික්ෂුවට සලකන ආකාරයටම ද? මේ ලින්ක් එක බලන්න.

    http://www.youtube.com/watch?v=9kzRxucFeD0

    මෙතන ගල් පෑලෙන බොරුවක් කියන විට මිනිස්සු සාදුකාර දෙන හෑටි…! මාස 6 දි මම තිසරනේ පිහිටියා කියන එක මොන බොරුවක් ද? ඒක කියල මිනිස්සු දිහා බලා ඉන්න හෑටි බලන්න. අපේ ඈගයීම් රටාවේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මම ඔය නිසා. (මෙ හාමුදුරුවො එක්ක මට කිසිම පුද්ගලික ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේගෙ බන මම අහලත් නෑ)

    පොඩි දරුවො මහණ කරන කොට ඊට සාදුකාර දීල පස්සේ උන් දුස්සීලයි කියන්න කාටවත් අයිතියක් නෑති බව මගේ විශ්වාසයයි. ඒ වගේම ඒ වෑරදි නිසා උන් අපා ගත වෙනවා නම් අපාගත වෙනව ඈත්තේ ඒ අපරාධයට නන් අයුරින් සහ සම්බන්ධ වුණු අයත් ඈදගෙන. මොකද පොඩිවුන් මහණ කරද්දි එයට උඩගෙඩි දුන් අයට දිව්ය ලොකෙ යන්න කිසි අයිතියක් නෑති නිසා. මේ මට හිතෙන හෑටියි.

    සමාවෙන්න ඔන තරිඳු මම වෙන අතකට සාකච්චාව ඈදගෙන ගියා නම්.

    • තරිඳු

      කිසි ප්‍රශ්නයක් නෑ. මම බොහොම කැමතී මේ යන විදියට

    • තරු

      මේක වාදයක් බවට පත් කර නො ගනීවි කියල හිතන නිසා පිළිතුරු දෙන්න කල්පනා කළා. වල්පොල රාහුල හාමුදුරුවෝ හෝ වෙනයම් කෙනෙක් හෝ කියන දෙයක් පිළිගන්නවාට වඩා සැබෑ බෞද්ධයින් පිළිගත යුතු වන්නේ බුදු රජාණන් වහන්සේ ගේ වචනය යි. බුදු රජාණන් වහන්සේ විනය සික්ෂා පද වෙනස් කළේ අපි වගේ උඩින් පල්ලෙන් බලා නො වෙයි. විශේෂයෙන් ම ලෝකවජ්ජ සික්ෂාපද බුදු රජාණන් වහන්සේ සංශෝදනයන්ට ලක්කලත් කිසි විටෙකත්, උගුල්ලා දැමුවේ නැහැ. එයට ප්‍රධාන හේතුව වූයේ එම සික්ෂා පදයන් නිවන් මගට කෙලින් ම අදාළ වන නිස යි. අනිත් පැත්තෙන් පඤ්ඤත්ති වජ්ජ සික්ෂාපදයන් පවා, මහරහතුන් වහන්සේලාවත් වෙනස් කළේ නැහ. ඒ අනුව වල්පොල රාහුල කීවාය කියා, විනය අපට අවශ්‍ය හැටියට වෙනස් කර ගන්නේ කෙසේ ද..? ඊ ළගට පඤ්ඤත්ති වජ්ජ සික්ෂාපද, සංවිධානයක පැවැත්මට අවශ්‍ය වුනත්, ලෝක වජ්ජ සික්ෂාපද සියල්ල ම කෙ‍ලින් බුදු දහමේ මූලික ඉලක්කය හා සම්බන්ධ යි. එවිට ඒවා අසත්‍ය බව කෙනෙක් පවසන්නේ කොහොම ද..? අනිත් කාරණය තමයි, බුදු රජාණණ් වහන්සේ පැහැදිලි ලෙස ම පෙන්වා දී තිබෙනවා. සික්ෂා පද පනවන්නේ කරුණු දහයක් මුල් කරගෙන ය කියා. විනයෝ නාම සාසනස්ස ආයු යනුවෙන්, සංගීති කාරක මහරහතන් වහන්සේලා දේශනා කළේ, කරුණු සහිත ව යි.

      නැති ගුණ මවා පෑම ගැනත් යමක් කියන්නම්, හතර වැනි පාරාජිකාවේ.. සදහන් වන්නේ යම් භික්ෂුවක්, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති, ඤාණදස්සන, මග්ගභාවනා,ඵලසච්ඡිකිරියා, ‍කිලේසප්පහාණ, සිතෙහි විනීවරණතාවය, හා ශූන්‍යාගාරයේ අභිරතිය කියන මිනිස් ස්වභාවය ඉක්මවා ගිය උත්තරි මනුස්ස ධර්මයන් තමා තුළ නොතිබෙද්දී ඒවා තිබේයැයි බොරුවට කියා සිටියහොපත් පාරාජිකා වන බව යි. එම සිල් පදයේ මේවා ඉතා හොදින් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව කෙනෙක් තිසරණයේ පිහිටියා කියන කථාව උත්තරි මනුෂ්‍ය ධර්මයක් වන්නේ නැහැ. ඒ අනුව ඔබ ඔය හිමිනමට දක්වන චෝදනාව නිකම්ම අමූලිකයක් වෙනවා. මේ විනය සිල් පදය ගැන වැඩි විස්තර අවශ්‍ය නම්, නා උයනේ අරියධම්ම හිමිපාණන් වහ්නසේ හෝ, විනය විශාරද වැලිගම ඤාණරතන මහානායක හිමි පාණන් ගෙන් විමසන්න. අනිත් අතින්, කිසියම් පුණ්‍ය ශක්තියකින් යුත් කෙනෙක් කුඩා අවධියේ දී වුනත්, තිසරණයේ පිහිටන්නට ඉඩ තිබෙනවා. ඇතැම් කුඩා ළමයින් පුංචි අවධියේ දී ම විවිධ හැකියාවන් ගෙන් යුතු ව ලෝකයේ කටයුතු කරන අයුරු අන්තර්ජාලයේ ඕනෑ තරම් අපිට දැක ගන්නට හැකි යි.

      ඇත්තෙන් ම ඇග‍යීම් ර‍ටාවේ වෙනසක් තිබෙනවා. ඒ වෙනස තමයි දැඩි කෙලෙස් සහිත ව, ඉරිසියාව හා ගුණමකු කම පෙරටු කර ගනිමින් බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයේ දැක්වෙන දෙය පිළි නො ගනිමින් තමන් ගේ මානය ඔසවාගෙන සිදු කරන ඇගයීම.

      පොඩි දරුවන් මහණ කිරීම ගැනත් බුදු රජාණන් වහන්සේ පැහැදිලි ව ම විනයේ සදහන් කර තිබියදී, උන්ව පැවිදි කරගන්නා උන් තමයි මෙතැන දී වැරදි කරුවන් වන්නේ. මෙයට පොඩි උන්මහණ කරගන්න සියල්ලෝ ම අයිති වන්නේ නැහැ. මන්ද, අදටත් ලංකාවේ සැබෑ සිලවතුන් වහන්සේලා වැඩ සිටින නිසා. අනිත් අතින්, සසුන වනසන උන් අපායේ යන බව අරුමයක් නො වෙයි. එය උන්ගේ මහගෙදර යි.

  • මෙය වාදයක් කරගන්න මමත් අදහස් කරන්නේ නෑ. පොදුවේ සමස්ත සමාජයටම අදාලවන ප්‍රශ්නයක් දෙස තරිඳු ඉදිරිපත් කළ අදහස ඔස්සේ කියවන එකයි මම කළේ.

    //එයට ප්‍රධාන හේතුව වූයේ එම සික්ෂා පදයන් නිවන් මගට කෙලින් ම අදාළ වන නිස යි.//

    මම කියවා ඈති ප්‍රමාණයට පුක්කුසාති සම්බන්ධ කතාවේ පුක්කුසාති ඔය කියන එකම විනයක් වත් ශික්ෂාපදයක් වත් දැන සිටියෙ නැ. ඔහු බෞද්ධ භික්ෂුවක ද නොවී බුදුන්ගෙ ධර්මය අසා සත්යාවබොධ කළ බව බුදුන් වහන්සේම විස්තර කළා කියලයි මා කියවා ඇත්තේ.

    මේ අනුව මගේ අදහස ජීවිතය ගැන අවබෝධයක් ඇති පුද්ගලයෙකුට විනය හෝ සිල්පද අවශ්‍ය නෑ සත්‍යය දකින්න. ඒ නිසාම මම විශ්වාස කරනවා ජීවිතය ගැන අවබෝධ කරගන්න අවස්ථාව නොදී කෙනෙකු කුඩා කල දීම පැවිදි කිරීම ඒ පුද්ගලයාට කරන හානියක් කියා. ඔහුට එයම සත්‍යය දකින්න බාදාවක් වෙනවා කියා. මා අවුරුදු 12-13 වයස්වල දරුවන් විවාහ කරදීමට ද පැවිදි කරවීමට ද එකසේ
    විරුද්ධයි. ඒ මගේ පුද්ගලික අදහසයි.

    ඒ හෑර මතුවන ප්‍රශ්නය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සත්යාවබොධය කරන්න බෑරිද කියන එක. මගේ විශ්වාසය පුළුවන් කියායි. ඒ නිසා මම තවදුරටත් විස්වාස ලකරනවා විනය යනු සංවිධානයක පෑවෑත්ම සඳහා පනවන ලද නීති මිස බුදුන්වහන්සේ දෙශනා කළ සත්ය අවබොධ කිරීම සමග අත්යන්ත සම්බන්ධයක් නෑ කියා. ඒ නිසාම විවාහ වන ගිහියන්ට ද මහායාන භික්ෂූන්ට ද සත්‍යාවබොධය කළ හැකිය යනු මාගේ පිළිගැනීමයි.

    බුදුන් වහන්සේ තමන් සත්යය අවබොධ කිරීම විස්තර කළේ ‘ඈස පහල වුණා’ ‘ ඥානය පහල වුණා’ ප්‍රඥාව පහල වුණා’ ‘ආලෝකය පහල වුණා’ වැනි වදන් වලින්. ඒ හැම එකක්ම බුද්ධිය සමඟ සම්බන්ධවන දේවල් මිස කිසියම් වෘත සමඟ සම්බන්ධවන දේ නොවෙයි.

    ඒ හැර ජාතිවාදය කුළ වාදය පවත්වාගෙන යාම භික්ෂුවක්ගේ උසස් කම අගය කිරීමේ දී සාධකයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන ඔබ කිසිවක් පවසා නෑ.

    මාගේ පිළිගැනීම බුදුදහම යනු ඉතා දියුනු දර්ශනයක් බවයි. එය මානවයාට ඉතා සතුටින් ජීවත් වීමටත් අන් අයටත් එසේ ජීවත්වීමට ඉඩහැරීමටත් අවශ්‍ය දර්ශනය සපයනවා යනු මගේ හැඟීමයි. එය කිසියම් ජාතියකට කුලයකට අයත් දෙයක් නෙවෙයි. ඒ වගේම බමුණු දහමකුත් නෙවෙයි. ඒ මම බුදුදහම දකින ආකාරයයි.

    මට පුද්ගලයෙකුට අවමන් කරන්න අවශ්‍ය නෑ. මට වෙන ආදර්ශයක් සොයාගන්න ලැබුනානම් මම එය ඉදිරිපත් කරනවා. එය ඉදිරිපත් කළේ ප්‍රසිද්ධියේ බොරු කියන ආකාරයත් ඒවාට කිසිත් විචාරයක් නැතිව සාධුකාර දෙන ආකාරයත් පෙන්වීමටයි. මාස හයක දරුවෙකුට තිසරණ සරණ යා නොහැකි බවත් එසේ යමෙක් ප්‍රකාශ කරනවා නම් එය බොරුවක් බවත් මාගේ පිළිගැනීමයි.

    ඒ හැර මෙවන් දේට එරෙහි වෙන්නට තවත් හේතු මට තියෙනවා. මිනිස්සු ජීවන වියදම ඉහල යනවිට ජීවත් වෙන්න වැ‍ටුප මදිවෙනකොට, ඒ සම්බන්ධයෙන් රාජ්‍යයට එරෙහිව අරගල කිරීම, පාලක පෙලැන්තිය කරන අනවශ්‍ය වියදම් විවෙචනය කිරීම වෙනුවට ‘මේව වෙන්නෙ අපේ කරුමෙට කියා හෝ හඳහන් ගිරහ අපල නිසා හෝ කියා හිතන ජනතාවක් ඉන්න එක පාලකයන්ට හොඳයි. එහෙම නැත්නම් ආශ්චර්යමත් දෙයකින් ප්‍රශ්න විසඳේවි කියා හිතන පිරිසක් බිහිවෙන එක හොඳයි. ඒ නිසයි මහාපරිමාණ පිංකම් වලට රාජ්‍යය පැනල මැදිහත් වෙන්නේ. සමහරවිට ‘බුදු ‍රැස් විහිදුණා’ වැනි කතා රාජ්‍ය මාධ්‍යවල ම ප්‍රකාශ කරන්නේ.

    තවත් පිළිතුර දීර්ග කරන්නේ නෑ. ඔබ පාලිවචන ගොඩාක් පාවිච්චි කර තිබුණා. ඒවා සරල සිංහලෙන් ලිව්වා නම් ඉතාම අගෙයි. ඔබ හොඳටම දන්නවා එකී වචන සාමාන්‍ය අයට තේරෙන්නේ නෑ කියා.

    නැවත වරක් තරිඳුට කණගා‍ටුව ප්‍රකාශ කරනමින් නවතිනවා.

  • අවුරුදු 12-13 වයස්වල දරුවන් ලෙස මා ලියා ඈත්තේ ලංකාවේ වෑඩිවසයෙන් පෑවිදි කරන වයස ඒ යෑයි මා සිතූ නිසා. ඒය අවු 18 ට අඩු අඩු ඔනෑම දරුවෙක් කියා නිවෑරදි විය යුතුයි.

  • තරු

    මා කථා කරන්නේ මාගේ මතයක් තහවුරු කරනා අදහසින් නොවේ. මා පෙන්වා දෙන්නේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය යි. එය පිළිගැනීමට යමෙකුට නො හැකි නම්, ඒ පිළිබඳව කිව හැක්කේ ඔහුගේ අවිද්‍යාවේ මහත කියා හැරෙන්නට වෙනකුමක් ද..? බුදු හාමුදුරුවන් කිව්ටවත් පිළි නො ගන්නා තැනැත්තවුන්, සාමාන්‍ය පුද්ගලයෙක් කියන දෙයක් අසාවි ද..? එවැනි අය ගැන අනුගමනය කළ යුත්තේ අනුකම්පාවෙන් මැදහත් වීම පමණ යි.

    විනය ශික්ෂාවන් නිවන මගට අදාළ වන්නේ ද නො වන්නේ ද යන්න බුදු මුවින් ම වදාළ තැන් තවත් අවශ්‍ය නම් මට උපුටා දක්වන්නට පුලුවනි අවශ්‍ය තරමට ම. නමුත් මෙහි ඒවා දක්වන්නට නො යන්නේ, ඔබ ඒවා පිළි ගනීවිදැ යි මට සැක ඇතිවන නිසා ය. සාමාන්‍යයෙන්, තමන් ගේ අදහස ම සනාථ කරන්නට උත්සාහ දරන අය ගේ ස්වභාවය වන්නේ, බුදු වදන් උපුටා දක්වන විට දී, එය තමා දරා සිටින මතයට පටහැනි නම්, එක්කෝ ත්‍රිපිටකය සැකයට ලක් කිරීම යි. එසේත් නො මැති නම් කාලා ම සූත්‍රය උපුටා දැක්වීම යි. එවැන්නවුන් ගැන ද අනුකම්පා කිරීම හැරෙන්නට කළයුතු වෙන යමක් නැත්තේ ම ය.

    අනෙක් අතින්,සෝවාන් පුදගලයා පවා ශීලයෙහි පරිපූරකාරී යැ යි, බුදු මුවින් ම දේශනා කොට ඇති නිසා, විනය සිල් පද නිවන් මගට අදාළ නො වන්නේ නො වේ.. වන්නේ ම ය. ගිහි ගෙයි වසන පුද්ගලයා ද, නිවන් දකින්නේ යම් ශීලයක විනයක පිහිටා විනා එයින් තොර ව නො වේ. ගිහි ගෙයි වසමින් රහත් ඵලය සාක්ෂාත් කළ නො හැක්කේ ද මේ නිසා ම ය.

    ඇත්තෙන් ම අනිත් දේ වල් වලට මම කිසිවක් කියන්නේ නැහැ. මන්ද ඒ සියල්ල ඔබ ගේ අදහස් නිසා යි. කිසිවෙකු ගේ අදහස් හෝ මතවාද මත සත්‍යය වෙනස් වන්නේ නැහැ. ලෝක ධර්මතාවය වෙනස් වන්නේ ත් නැහැ. ඒ නිසා ම යි බොහෝ තැන් වල තථාගතයන් වහන්සේ, තමන් වහන්සේ ඉපදුනා හෝ නැතා හෝ, මේ ධර්තාවය ලෝකයේ පවතිනවා යැ යි දේශනා කළේ.

  • විනය නීති පනවා ඈත්තේ ජීවිතය ගැන වැටහීමක් ඇතිව කෑමෑත්තෙන් පෑවිදි වී සසුනෙ ඉන්නා පිරිස් සඳහාය යනු මගේ අදහසයි. නමුත් ලංකාවේ ඉන්නා බහුරතරය භික්ෂූන් කුඩා කල දී මහණ කළ අය (මහණ වූ අය නොවන) නිසා පෙරකී ජීවිතය ගැන වැටහීමක් ඇතිව කෑමෑත්තෙන් පෑවිදි වූවන් සඳහා පනවන ලද විනයක් මත ඔවුන්ගේ ජීවිතය මෑනීම විසංවාදයක් ලෙස මා දකිනවා. ඔවුන් කරන වැඩ හරිද වැරදිද කියන එක ගැන නෙවෙයි මා කතා කරන්නේ. ඔවුන්ව මැනීම සඳහා යොදා ගන්නා මිනුම් දන්ඩ හරිද වරදි ද කියන එක ගැනයි.

    බුදු දහමේ ඉගෑන්වෙන වැදගත් සංකල්ප වන කරුණාව මෛත්‍රිය දයාව සමානාත්මතාව වැනි ඉතා යහපත් සංකල්ප මත පිහිටා ජීවිතය දෙස බලන කෙනෙකුට ජාතියක්, කුලයක් තිබිය නොහැකියි. එවන් පදනමක සිට භික්ෂුත්වය අගය කරන්නෙකු අතින් භික්ෂූන් සිංහල ජාතියට පමණක් සීමා වීමත්, අන් ජාතීන්ට සිදුවන අසාධාරණයක දී වචනයක් වත් එරෙහිව කතා නොකිරීමත්, එසේ පීඩාවට පත් ජනයා වෙත කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව අන් බෞද්ධයින් ද පෙළ ගස්වාගෙන කරන මෙහෙයක් නොමැති වීමත්, උත්පත්තිය මත තීරණය වූ කුළ ක්‍රමයක් පවත්වා ගෙන යාමත් විවේචනය විය යුතුයි. නමුත් එසේ නොවීම මා දෙවැනි විසංවාදය ලෙස දකිනවා.

    පළමු කී විසංවාදී ඇගයීම් ක්‍රමය දැඩිව පවත්වාගෙන යන අතරම මේ දැක් වූ දෙවැනි විසංවාදය මතු වීම බරපතල විසංවාදයක් ලෙසයි මා දකින්නේ.

    ඔබේ අදහස අනුව විනය පොතෙන් එපිට ඇගයීම් ක්‍රම හඳුන්වා දෙන්න අපට බෑ. මක් නිසාද අප පුහුදුන් අය නිසා. මෙතැන දී මම ඔබෙන් බරපතල ලෙස වෙනස් වෙනවා. බුදුදමේ මූලික වටිනා ඉගැන්වීම් මත පිහිටා යමක හොඳ නරක උස්පහත් බව තීරණය කරන්න අපට නිදහස තියෙනවා යනු මාගේ පිළිගැනීමයි.

    මම හිතනවා මා ලියූ මුල්ම කොමෙන්ට් එක තුළින්ද ඉන් පසු ලියූ දෑ තුළින් ද මතුකළ මාගේ මූලික අදහස නිරවුල්ව ප්‍රකාශ කළා කියලා. මීට වඩා මම මෙම සංවාදයට සහභාගී වන්නේ නෑ.

  • Apologies for writing in English (Sinhala Type Karanna huru nethi kama). Feel free to respond in Sinhala. I am curious to know the answer to the following question from “Tharu”. You are referring very confidently to certain things by designating them as “things that Lord Buddha himself defined”. Obviously the Buddhist scripture was preserved for thousands of years among the people, and during those thousands of years the “human perspective” was used to preserve it. Now, when I inquire in to Buddhism up to certain extent things make absolute sense to me. I see a beautifully constructed coherent philosophy.(I am only referring to core concepts). This makes me feel like this “This is a work of collective human effort”. In other words, I see something that is collectively created by intelligent people.

    Now when I look in to certain peripheral things in Buddhism, I see contradictions. Again I see that human perspective seem to have played a role. What I again see is various facets of human thinking influenced by culture or tradition prevailing at that time.

    Now in this complicated beautiful mess, how to you refer to anything so surely as “Buddha’s own words” as opposed to “someone’s interpretations”? What is your criteria? Something that lasted for thousands of years among humans and carried forward for generations, is sure to have human perspective embedded in it. Am I wrong?

    • තරු

      ඇත්තෙන් ම මුලින් ම කිව යුත්තේ මෙවැනි ගැටලුවලට පිළිතුරු දීමට මාගේ කිසිදු කැමැත්තක් නැති බව යි. මා මුලින් ම සදහන් කළා, තමන් ගේ අදහසට පටහැනි යමක් ඉදිරිපත් වූ විට බොහෝ උගත් යැයි සම්මත පුද්ගලයින් සිදු කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය සැකයට ළක් කිරීම බව. (ඉහත කමෙන්ට්ස් බලන්න)දැන හරියට ම සිදු වූයේ ත් එය ම යි.

      කෙසේ නමුත්, මෙය බුදුරජුන් ගේ ම ධර්මය ද නො වේ ද යන්න නීර්ණය කරගැනීමට ඇති නිර්ණායකය වන්නේ එහි ඇති ජීවමාන ගුණය යි. විශේෂයෙන් ම කිව යුතු වන්නේ ධර්මය ජීවමාන වන්නේ ප්‍රායෝගිකත්වය තුළ විනා, තර්කය තුළ හෝ ගවේෂණ්‍ය තුළ නො වන බවයි. මන්ද තර්කය හා (ඊනියා) ගවේෂණය හැම විටම කෙළෙස් සහිත සිතක සිදු වන සංස්කරණයක් වන හෙයිනි. එම නිසා, මෙය බුදුන් ගේ ධර්මය ද යන්න විමසීමට අවශ්‍ය අයෙකු විසින් කළ යුත්තේ පොත් පෙරළමින් ඊනියා ගවේෂණයක යෙදීම නො වේ. ධර්මය ප්‍රායෝගික ව අත්හදා බැලීම යි. එවිට දහම දකින්නා මා දකී යන බුදුන් ගේ ම වදන අනුව ධර්මයේ ජීවමානත්වය ඔහුට ප්‍රත්‍යක්ෂ වනු ඇත.

  • තරු

    ඇත්තෙන් ම කියනවා නම්, විනය පොතෙන් එපිට ඇගයීම් ක්‍රම අවශ්‍ය නො වන්නේ, නිවැරදි ව විනය ක්‍රියාත්මක කරන විට එවැනි ඇගයීමක් හෝ විවේචනයක් කරන්නට ඇති ඉඩකඩ හැම පසෙකින් ම ඇහිරී යෑම නිසා යි. පොඩි වුන් මහණ කිරීමෙන් ඇති වන සියලු අර්බූධයන්ට හේතු වී ඇත්තේ විනය ඉක්මවා කටයුතු කරණ උදවිය යි. අනෙක් පසින් බුදු රජාණන් වහන්සේ කරුණාව මෛත්‍රිය ආදිය පතුරුවන්ට කියා ශ්‍රාවකයින්ට උපදෙස් දෙනු ලැබූයේ, ජති ආගම් කුල භේද සියල්ල හැර දමා යි.කුල භේද ආදිය බුදු දහමේ කිසි විටෙකත් දැක්වෙන්නේ නැහැ. එවැනි කුල ක්‍රම ආදිය හදුන්වා දී තිබෙන්නේ ත්, ධර්මයට පිටින් කටයුතු කරන උදවිය ම යි. එම නිසා මා දකින්නේ, එවැනි විසංවාද බෞද්ධ සමාජය තුළ ඇති වී ඇත්තේ, ධර්මයට පිටින් කටයුතු කරන්නවුන් නිසා විනා, ඇගයීම් ක්‍රමයක දෝශයක් නිසා නො වෙයි. එනිසා අප විසින් කළ යුතු වන්නේ අලුත් ඇගයීම් ක්‍රම හදුන්වා දෙමින් සිටිනවාට වඩා, සමාජය තුළ සැබෑ බුදු දහම ක්‍රියාත්මක කරවන වැඩපිළිවෙලයනට අනුගත වීමයි. ඒ සදහා සහාය දැක්වීම යි.

  • @ තරු

    පොඩි ප්‍රශ්න කීපයක්.

    //පොඩි වුන් මහණ කිරීමෙන් ඇති වන සියලු අර්බූධයන්ට හේතු වී ඇත්තේ විනය ඉක්මවා කටයුතු කරණ උදවිය යි.//

    මෙයින් ඔබ අදහස් කරන දේ පෑහෑදිලි කරනවා ද, ඔබ අදහස් කරන්නේ ‘පොඩි වුන් මහණ කිරීම’ විනය ඉක්මවා කටයුතු කිරීමක් කියන
    එක ද?

    මීලඟට අහන ප්‍රශ්නය කිසිවිදියකට පුද්ගලයෙකුට අපහාස කරන්න අහන ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නය විශ්ලේෂණය කර ගෑනීමේ අවංක අදහසින් අහන එකක්.

    ඔබ කියනවා

    //එවැනි කුල ක්‍රම ආදිය හදුන්වා දී තිබෙන්නේ ත්, ධර්මයට පිටින් කටයුතු කරන උදවිය ම යි. එම නිසා මා දකින්නේ, එවැනි විසංවාද බෞද්ධ සමාජය තුළ ඇති වී ඇත්තේ, ධර්මයට පිටින් කටයුතු කරන්නවුන් නිසා…// කියා.

    ඔබ මට යෝජනා කළා ‘විනය විසාරද’ හිමි නමකගේ නමක්. උන්වහන්සේ ගෙන් වැඩිදුර කරුණු දැනගන්න කියා. උන්වහන්සේ කුලය මත පදනම් වූ නිකායයක මහනායක මට්ටමේ කෙනෙක්. සුළු කෙනෙක් නෙවෙයි. ඒ වගේම දැඩි සිංහල වාදී හිමිනමක්. ඔබේ ඉහත කියමනට අනුව ඒ ‘විනය විසාරද’ වූ හාමුදුරුවෝත් ධර්මයට පිටින් කටයුතු කරන්නෙක් ද?

    අපි අලුතෙන් මේවා දෙස බැලිය යුතු බවත් විචාරය විවේචනය විශ්ලේෂණය ගවේශනය වඩාත් සත්‍යය දෙසට ලංවීමට හේතුවෙනවා කියාත් හිතෙන්නේ නැත්ද?

    (මේ වැරදි කරන අය අගහරු ලෝකෙන් ආ අය නෙවෙයි. අපේම සමාජයේ අය. එකී ‘විනය විසාරද’ හාමුදුරුවොත් මහණ කරන්නට ඇත්තේ පොඩි වයසෙදි. උන්වහන්සේට ධර්මය සහ විනය හොඳට කටපාඩං ඇති. ඒත් විචාරශීලීත්වය ගවේශනය විශ්ලෙෂණය ගැනත් දැනුමක් ලැබුණා නම් පෙර කී මට්ටමට නොවැටෙන්න තිබුණා. මේ මගේ අදහස).

    • තරු

      ….//…ඔබ අදහස් කරන්නේ ‘පොඩි වුන් මහණ කිරීම’ විනය ඉක්මවා කටයුතු කිරීමක් කියන
      එක ද?//… ඇත්තෙන් ම ඔව්, ඒ පිළිබඳ ව පරිපූර්ණ වශයෙන් දැන ගන්නට අවශ්‍ය නම්, මහාවග්ග පාළිය කියවන මෙන් මා ඉල්ලා සිටිනවා.

      දෙවන ප්‍රශ්නය- පුද්ගලික ව මා ඔය කියන මහානායක හිමි නම(නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ කිසිලෙසකත් කුල ක්‍රමයක් බදා නො ගෙන සිටින බව මා ‍පුද්ගලික ව ම දන්නා නිසා,මා හිතනා පරිදි ඔබ අදහස් කරන්නේ අනෙක් මහානායක හිමිනම යි.)ගැන කිසිවක් දන්නේ නැහැ. මා උන්වහන්සේ ගේ විනය පොත් කියවා තිබෙන නිසා සහ එම පොත්වල තිබෙන කරුණු විනයට එකග බව දන්නා නිසා යි, උන් වහන්සේගෙන් විමසන්න ය කීවේ. එම නිසා උන්වහන්සේව පුද්ගලික ව දැන හදුනා නොගෙන ඇසුරු නොකොට නිගමන වලට බසින්නට මට බැහැ.මන් ද එය නො කළ යුතු දෙයකු යි.

      දෙක…

      ඇත්තෙන් ම දකිනා පරිදි,සම්බුදු සසුනකට අවශ්‍ය වන්නේ විචාරය විවේචනය හෝ විශ්ලේෂණය නො වෙයි. බුදු සසුනක චිර පැවැත්මට ත්, එය ඇසුරු කරගෙන ගොඩනැගෙන සමාජයකට ත් ඇවැසි වන්නේ, බුදුන් වහන්සේ උගන්වා වදාළ දේ තමාට ගළපාගැනීමේ බුද්ධිය යි. යමෙක් ධර්මය තමයාට ගළපා ගන්නේ නම්, ඔහුට ධර්මයේ ජිවමාන බව පසක් වෙනවා. එවිට ඔහුට ධර්මය ගැන තව තවත් ශ්‍රද්ධාව ම යි පිහිටන්නේ… එ‍වැන්නෙක්ගෙන් කිසි දා තමන්ට හෝ අනුන්ට හෝ, තමන් හා අනුන්ගෙන් සැකසුනු සමාජයට හෝ අයහපතක් වන්නේ නැහැ. මා හිතන්නේ අවශ්‍ය වන්නේ එය යි.

      • @තරු:
        [said:තරු]
        සම්බුදු සසුනකට අවශ්‍ය වන්නේ විචාරය විවේචනය හෝ විශ්ලේෂණය නො වෙයි. බුදු සසුනක චිර පැවැත්මට ත්, එය ඇසුරු කරගෙන ගොඩනැගෙන සමාජයකට ත් ඇවැසි වන්නේ, බුදුන් වහන්සේ උගන්වා වදාළ දේ තමාට ගළපාගැනීමේ බුද්ධිය යි.
        [/said]

        බුදුන් ඉදිරිපත් කලේ කට පාඩම සඳහා වන “ධර්මය”ක් නොවේ නම්? එහි හරයම විචාරය, විවේචනය හා විශ්ලේෂණය ම නම්?

  • තරු

    @budhajeewa

    බුදුන් ඉදිරිපත් කළේ කට පාඩම සදහා වන ධර්මයක් නො වන බව සැබෑය. එය ප්‍රගුණ කළ යුතු ධර්මයකි. විචාරයෙන් විවේචනයෙන් හා විශ්ලේෂණයෙන් ධර්මය ප්‍රගුණ වන හෝ ප්‍රගුණ කරන්නේ කෙසේ ද..? එම කරුණුවලින් සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ කෙසේ ද..? වඩන්නේ කෙසේ ද..?

    • @තරු:
      “ප්‍රගුණ කරනවා” යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? කළ යුත්තේ බුදුන් වදාළ දේ තේරුම් ගෙන, අපගේ ජීවිතය ඒ අනුව ගත කිරීම නොවේද කළ යුත්තේ?

      • තරු

        ප්‍රගුණ කරනවා යනු බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන පරිදි එය පිළිපැදී ම යි.

      • @තරු: ඉතින් බුදුහාමුදුරුවෝ කියා තිබෙන්නේ සමාජය දෙස විචාරයෙන් විවේචනයෙන් හා විශ්ලේෂණයෙන් බලා, සමාජය යන රැල්ල ඔස්සේම නොයා, තමන්ගේ බුද්ධිය අනුව තීරණයන් ගෙන කටයුතු කරන්න කියා නොවේද?

        මගේ හැඟීම නම්, බුදුන් කළේ මාර්ගෝපදේශයක් සකසා අප අතට පත් කිරීම බවයි. එය කියවා බලා අවබෝධ කරගෙන, අප ගමන් කළ යුත්තේ කෙසේද යන්න තීරණය කළ යුත්තේ අප විසිනි. නැතිව මෙතැනම නැවතී එය ඡායා පිටපත් කර කර බෙදාහැරීම නොවේ!

  • තරිඳු

    බොහොම වැදගත් සංවාදයක්. ත්‍රිපිටකය, දැනුම, ප්‍රගුණ කිරීම ගන කතාවෙන අතරේ මට මම අහල තියෙන කතාවක් මතක් උනා.

    Knowledge is knowing that a tomato is a fruit. Wisdom is not putting it in a fruit salad.

    මම ත්‍රිපිටකය පරිශීලනය කරන්නේ ඔය කියන විදියට. මොකද මට මගේම කියල මොලයක් තියෙන නිසාත්, ඒක පාවිච්චි කරන්න පුලුවන් නිසාත්.

    විනය නීති වෙනස් කලයුතු නෑ කියන තරූගේ මතයට මමත් එකඟයි. ඒත් විනය නීති වගේම ඒවාගේ ප්‍රායෝගික භාවිතය වචනාර්ථයෙන් අරගත යුතු නෑ කියල මම විශ්වාස කරනවා. ඒ වගේම ඇගයීම් ක්‍රමයේ ලොකු අඩුපාඩුවක් තියෙන බවට පිටස්තරයා කරන චෝදනාවත් පිලිගත යුතුයි.

  • Thanks Tharu for your answer for my question above. I think I got my answer. If I am to repeat what I understood. Your yardstick of measurement whether something is as per Lord Buddha’s original definition or not, is based on your experience on exercising the Dharma. You automatically become aware if Dharma is good or not by your feelings towards the results of your exercise.

    I think understand you and your way of life. This makes a lot of sense and this I think is true meaning of being religious.

    Probably to your surprise, I agree with you that your way of looking at Dharma sounds more appropriate for a Buddhist than what most others suggest in this discussion thread. Most of the others here commented that they are likely to use analysis and reasoning on Dharma to find if it is fitting. To me, that does not sound like being religious. That sounds like being a rational. Rationalism is not the path for salvation defined in Buddhism or most of other religions.

    I am empirical-rationalist and therefore I am not religious. However, I accept that mine is just another world view, and yours is valid way of looking at the world too.

    If I am to use my rational arguments, I might even say that your way of measuring the validity of Dhamma is what you call a “self-fulfilling prophecy”. http://en.wikipedia.org/wiki/Self-fulfilling_prophecy You assume Dharma is correct, you practice Dharma. Your feelings are conditioned by Dharma and in return you feel good about Dharma, hence you accept that to be true Dharma. But hey, don’t take this as a negative comment. That may be negative in my worldview, but in yours you apply a different yardstick.

    • තරු

      මුලින් ම මා කිව යුතු වන්නේ,මා හට මෙය බටහිර දාර්ශනිකයින් ගේ කාමාශක්ත මොල වලින් කරනු ලබන විස්තරයන් සමග පටලවා ගන්නට කිසිදු අවශ්‍යතාවයක් නැති බව යි. තව ද මා අදහස් කළේ මාගේ අත්දැකීමක් නිසා මා, ධර්මය පිළි ගන්නා බවක් නො වේ. එම නිසා ඔබ ගේ කමෙන්ට් එකේ තිබෙන, යුව එක්ස්පිරියන් ආදී වචන යමෙකුගේ යනුවෙන් වෙනස් විය යුතු බව යි මගේ හැගීම.

      කෙසේ නමුත් මා මෙය කියන්නට කැමතියි.

      ලෝකයේ ඇති සියල්ල ම, ආයතයන්ට සාපේක්ෂ යි. එම නිසා ඒවා තුළ ඇත්තේ ඇත්තෙන් ම මුසා ස්වභාවයක්. බුදු රජාණන් වහන්සේ දැක්වූයේ මුසා ස්වභාවයෙන් හා ආයතනයන් ගේ සාපේක්ෂතාවයෙන් නිදහස් වූ එක ම දෙය නිවන හැටියට යි. එනමුත් නිවනට යන මාර්ගය පවා ඒ සාපේක්ෂතාවයෙන් නිදහස් වන්නේ නැහැ. එම නිසා ධර්මහේ හැසිරීමේ දී ලබන අත්දැකීම් කියා ඒ සියල්ල බුදු දහම යැයි පිළි ගැනීමකට ගැනෙන්නේ නැහැ. බුදුන් වදාළේ ද සිය ධර්මයේ එව බලව යන ගුණය තිබෙන බව යි. නමුත් ඇත්තෙන් ම ධර්මයට අද කාලයේ කෙනෙකුට පිවිසෙන්නට වන්නේ, මෙය බුදුන් ගේ ධර්මය යි යන ශ්‍රද්ධාවෙනු යි. ඒ පිළිගත් ධර්මය කථිත මාත්‍රයකින් නවතින්නක් නො වන නිසා, ඉන්පසු ඔහු ශ්‍රද්ධාවෙන් පිළිගත් දේ ප්‍රගුණ කරනවා. එවිට සිදු වන්නේ, බුදුන් වදාළ දෙය ප්‍රත්‍යක්ෂයක් වීම යි. මෙය දැන් බටහිර විද්‍යාවේ සිදු කරන පරීක්ෂණ වලට යම් දුරකට සමාන යි. උදාහරණයක් ලෙස, අපි පාසලේ විද්‍යාගාරයේ සිදු කරන පරීක්ෂණයක් ගනිමු. එහි විස්තර අපිට මූලික ව මුණ ගැසෙන්නේ පොළපොතක. නො එසේ නම් ගුරුවරයාගේ මාර්ගයෙන්. ඒ විස්තර අපි මුලින් පිළි ගනු ලබනවා. ඉන් පසු අපි එය පරීක්ෂණාගාරයේ දී අත්හදා බලනවා. එවිට එහි සත්‍යතාවය අපිට ම පැහැදිලි වෙනවා.

      මේ වගේ ම බුදුන් ජීවිතය ගැන වදාළ දේ මූලික ව ශ්‍රද්ධාවෙන් පිළිගන්නා තැනැත්තා, එය අනුගමනය කරනවා. එවිට ඔහුට එය තමන් ගේ ජිවිතය තුළින් දකින්නට හැකි වෙනවා. මන්ද බුදුන් හැම විට ම දේශනා කොට තිබෙන්නේ ලොව පවතින ධර්ම තාවය නිසා. එසේ තමන් තුළින් දකින විට එය ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂය තුළින් ඔහු ගේ ශ්‍රද්ධාව නො වෙනස් දෙයක් බවට පත් වෙනවා. මෙයට වාද අවශ්‍ය වන්නේ නැහැ. මෙය කුමන නමකින් හැදින්නුව ද පිළි ගත්තත නො පිළි ගත්ත ද සිදු වෙන දෙය යි. මන්ද ධර්මතාවයන් කෙනෙකුගේ පිළිගැනීම හෝ නො පිළි ගැනීම් මත රදා පවතින්නේ නැහැ.

      බුදුන් වදාළේ ලොව පවතින ධර්මතාවය යි. එය බුදුන් නිර්මාණය කළ දෙයක් නො වේ. එනිසා ම යි බුදුන් වහන්සේ වරක් වදාළේ “උන්වහන්සේ පහළ වූ වා හෝ නො වූ වා හෝ, සියලු සංස්කාර අනිත්‍ය යි යන ධර්මතාවය ධර්ම ස්වභාවය, ධර්ම න්‍යාය පවතින බව. එය තමන් වහන්සේ පෙන්වා දෙන බවත්, ඉස්මතු කරන බවත් විවර කරන බවත් උන් වහන්සේ වදාළා. මෙවැනි කරුණු කිසිදු වාදයකින් තොරව ම සත්‍යයන්. එසේ ම දුක පිළිබඳ ව සේ ම දුකෙහි හට ගැනීම එහි නිරෝධය වැනි දේ ගැන උන්වහන්සේ වදාළ සියලු කරුණු මෙවැනි ම සත්‍ය වූ දේවලු යි. එම නිසා මා ඔබට කුමනවාදියෙක් හෝ වේවා ආරාධනා කරනවා, බුදුන් වහන්සේ වදාළ මේ දේවල් මැදහත් සිතකින් තමන්ට ම ගලපාගෙන බලන්න ය කියා.

      • Tharu, you have made some assumptions about me. Well, I do not mind it, since I have made assumptions about you too, which could be wrong.

        BTW, when writing in English using “you” to mean “someone” is a figure of speech. Like “what you sow is what you get” (rather than “what one sow is what one get”)

        You have made a very mature comment here:
        /*ලෝකයේ ඇති සියල්ල ම, ආයතයන්ට සාපේක්ෂ යි. එම නිසා ඒවා තුළ ඇත්තේ ඇත්තෙන් ම මුසා ස්වභාවයක්. බුදු රජාණන් වහන්සේ දැක්වූයේ මුසා ස්වභාවයෙන් හා ආයතනයන් ගේ සාපේක්ෂතාවයෙන් නිදහස් වූ එක ම දෙය නිවන හැටියට යි. එනමුත් නිවනට යන මාර්ගය පවා ඒ සාපේක්ෂතාවයෙන් නිදහස් වන්නේ නැහැ. */

        Take a bow! That is for saying that path to Nirvana is not an absolute truth (Paramartha Sathya) but a relative truth (Sammuthi Sathya). Dhamma is a raft to cross the river of samsara. Herman Hesse expanded on this concept in his book Siddartha. Then again, I am not sure if you regard Hesse as a “කාමාශක්ත බටහිර දාර්ශනික”.

        Anyway, if I am to deconstruct your position further. It can get ugly and will result you to use more and more not-so-nice words like කාමාශක්ත බටහිර දාර්ශනික and derogatory references to what you deem as “western way of thinking”

        Even though you now label certain things as “western” as an easy way to create the “us and them” separation, I am sure an intelligent and educated person like you know that all these different types of worldviews existed in India even at the time of Lord Buddha, according to the literature.
        Anyway, I do believe that regardless of what you preach, your brain is also receptive the same way කාමාශක්ත බටහිර brains are receptive to the similar stimuli. For example, I would argue that the pleasure you obtain from being here and commenting on this blog, is the same pleasure that I obtain from doing this.

        If you are really stimulated by the Dhamma, you will not, even as a convenience, try to create the artificial “west” vs. “us” separation to win an argument. So I believe you when you said that “/*මා අදහස් කළේ මාගේ අත්දැකීමක් නිසා මා, ධර්මය පිළි ගන්නා බවක් නො වේ.*/”. I think you and I have lot in common than you imagine. Both you and I use Buddha’s Dharma as an “intellectual chewing gum” which we pleasurably chew but do not swallow.

        Anyway Tharu, please do not take any of the rants above in a hostile way. From the little that you wrote here, you have earned my respect. Hope you will not lose it by reacting to the rants of a simple pleasure seeker like me.

  • @ තරු

    ඔබ ළමයින් පැවිදි කිරීම වරදක් බව එක එල්ලේ පැහැදිලිව ප්‍රකාශ කිරීම ගැන ඉතාම ස්තුතිවන්ත වෙනවා. එම ප්‍රකාශයෙන් ගොඩාක් ප්‍රශ්න විස‍ඳෙනවා. එම ප්‍රකාශය ඔස්සේ පහත ලියා ඇති දෑ මා ලියූ නමුත් ඒවා ඔබ ඉලක්ක කර ලියූ ඒවා නොවන බව කරුණාවෙන් සලකන්න. එය ලිව්වේ මාගේ සමස්ථ අදහස සම්පිණ්ඩනය කරන්නයි. බුදුදහම සම්බන්ධ ඔබේ එළඹුම දැඩි ආගමික වූ එකක්. එහෙයින් මම නැවත එම ක්‍රමවේදය ප්‍රශ්න කරන්නේ හෝ විවේචනය කරන්නේ හෝ නෑ.

    1. තරිඳුට පහුගිය කාලයේ අපහාසාත්මක බ්ලොග් පෝස්ට් ලියූවන් ගේ ප්‍රධාන චෝදනාව වුනේ මෙකී ළමා පැවිදි කිරීම් වලට එරෙහිව ඔහු විසින් කළ අදහස් ප්‍රකාශ කිරීම්. ඔබේ ප්‍රකාශයෙන් ද තරිඳු ළමයින් පැවිදි නොකළ යුතුය කියා ගත් ආස්ථානය නිවැරදි බව සනාථ වෙනවා.

    2. එසේ ම ඒ අනුව අද අපට හමුවන භික්ෂුව යනු මේ ආකාරයට තම ළමා කාලය අහිමි වූවන්. ජීවිතය කුමක්ද කියා වත් දැන ගැනීමට පෙර එය අත්හරින්නට සිදු වූවන්. සමාජීය වශයෙන් කරන ලද ගොඩනැංවීමක් තුළ කුඩා කාලයේ දීම සිරගත වන්නට සිදු වූවන්. ඒ අනුව ඔවුන්ගේ මනුස්ස වැරදි නිසා සිදුවන අඩුපාඩු මත (‍රැට කෑම ආදීකොට වූ) ඔවුන් ‘දුස්සීලයන්’ ලෙස හංවඩු ගැසීම කොතරම් සාධාරණ ද කියන එක අප අප ම සිතා බැලිය යුතුයි. මක් නිසාද ඔවුන් කිසියම් අයුක්ති සහගත සමාජ ආකෘතියක් තුළ සිරවී සිටින්නන් වන බැවිනි. ඒ සිරගත කිරීමට කවර ආකාරයෙන් හෝ අප ද සම්මාදම් වී ඇති බැවිනි.

    3. ඔවුන්ගෙන් සමහරෙක් බලය ද මුදල් ද පසු පස හඹා යන්නේත් ඒ වෙනුවෙන් වර්ගවාදයන්, ජතිවාදයන්, කුලවාදයන් ආදී වූ බුදු දහමේ මූලික ඉගැන්වීම් වලට සපුරා පටහැනි දේ කිසිත් පැකිලීමක් නැතිව පවත්වාගෙන යාමට හවුල් වන්නේත් ඔවුන් ‘කිසිවක් අත්හල’ (renunciation)පිරිසක් නොවන බැවින් නිසා බව මාගේ මතයයි.

    4. අද අපේ රටේ දක්නට ලැබෙන ප්‍රවණතාවක් තමයි තරුණ අය පෙම් නොකළ යුතුය, ඔවුන් සිපවැළඳ ගැනීම් නොකළ යුතුය, ඔවුන් දහම් පාසැල් අනිවාර්යයෙන් යමින් සදාචාරය ප්‍රගුණ කළ යුතුය, පෙම්වතුන්ගේ දිනයේ දී සිල්ගත යුතුය, බොන්නට කැමති මිනිස්සු එය නැවැත් විය යුතුය වැනි අදහස්. මේව එන්නේ බෞද්ධ මුහුණුවරකින් සහ පාර්ලිමේන්තුවේ ඉන්නා භික්ෂූන්ගේ අනුග්‍රහය ඇතිව. මේ යට ඇත්තේත් ‘අපට නොලැබුණු දේ නුබලාටත් හිමි නොවිය යුතුය’ යන්න බව මාගේ අදහසයි. වෙනත් වචනයකින් කියනවා නම් පැවිදි වෙන්න ඕන නැති අයව පැවිදි කරල. දැන් ඒ අය ඉතිරිවෙලා ඉන්න ගිහියන් සියළුදෙනාටත් තමන්ට උරුම වූ විපතම උරුම කර දෙන්න එනම් පැවිදි කරන්න උත්සාහ කරනවා. පිටතින් සිට බලන මට පේන්නේ ඔහොම නාට්‍යයක්. (බුදුන් ආරාමයේ ජීවත් වෙද්දි අම්බපාලි ඒ නගරයේම ජීවත් වෙමින් තම වෘත්තිය කළා. බුදුන්ට අනුග්‍රහ දෑක් වූ රජුන් සි‍ටුවරුන් ඇගේ සේවය ලබා ගත්තා. මහණ වෙන්න ඕන අය මහණ වෙලා. ගිහි ජීවිතේ ඉන්න අය පූර්ණ ගිහි).

    විනය වෙනස් කළ යුතුය කියා මා කියන්නේ නෑ. මට එහෙම කියන්න අයිතියකුත් නෑ. නමුත් මේ විකාරය මට පේනවා. පැවිදිවෙන්න ඕන නැති අය පැවිදි කරලා. ඒ අයගේ ජීවිතෙ මණින්නේ මීට හත්පසින්ම වෙනස් අර්ථික සමාජ තත්ත්වයක් යටතේ මීට අවුරුදු දාහකට දෙදාහකට වත් පෙර වෙනමම ආරක් ගත් ජීවිතයක් ‍තෝරාගත් පිරිසක් වෙනුවෙන් පණවන ලද නීති මත. මේක මහා විසංවාදයක්.

    මෙතෙක් මතු කළ මේ සමස්ථ විසංවාදී තත්ත්වයන්ම මුළුසමාජයම ව්‍යාධිගත කරන බව සහ කර ඈති බව මාගේ දැඩි විශ්වාසයයි. ඒ නිසා කළ යුත්තේ මහණවෙන්න ඕන අයට මහණ වෙන්නත් ආදරේ කරන්න ඕන අයට ආදරේ කරන්නත් බොන්න කැමති අයට බොන්නත් පුළුවං නිදහස් සමාජයක් ගොඩනගා ගන්න එක. එතකොට එකිනෙකාට ඊර්ෂා නොකොට හැමටම තමන් කැමතිලෙස සතුටින් ඉන්න පුළුවං වෙයි. එහෙම තත්වයකදි ඕන වුනු දවසක ඕනවුණු කෙනෙකුට දෙපාරක් හිතමින් වැනෙන්නේ නැතිව නිවන ගැනත් හිතන්න පුළුවං වෙයි. මෙවන් තත්ත්වයක දි රාජ‍යයට අමුතුවෙන් බුදුදහම රකින්න ඉද්‍රිපත් වෙන්නත් එය නඩත්තු කරන්න (පුණ‍ය භූමි ඉදි කිරීම් ආදී වශයෙන්) මෙතරම් දන්ස්කන්ධයක් වෑය කරන්නටත් ඔන වෙන එකක් නෑ. මේ මට පෙනෙන හැටියි.

    තරිඳු, ගොඩාක් ඉස්තූතියි ඉවසීමෙන් අවස්ථාව දුන්නට.

    • තරු

      ඇත්තෙන් ම මා මෙහි දී ඔබ ගේ ‍අදහස් වලින් බහුතරයකට එකග වෙනවා..

      ————එසේ ම ඒ අනුව අද අපට හමුවන භික්ෂුව යනු මේ ආකාරයට තම ළමා කාලය අහිමි වූවන්. ජීවිතය කුමක්ද කියා වත් දැන ගැනීමට පෙර එය අත්හරින්නට සිදු වූවන්.——–මෙම ප්‍රකාශය ඇතුළු කිහිපයක් හැර.. මන්ද අපට හමුවන භික්ෂූන් ගෙන් බහුතරයක් එවැනි ස්වභාවයෙන් යුතු විය හැකි වුවත්, සැබැවින් ම බුද්ධවචනය ගැන පැහැදීම ඇති කරගෙන, ධර්මහේ හැසිරීම උදෙසා පැවිදි වී ධර්මයට විනයට අනුව කල් ගෙවන භික්ෂූන් වහන්සේලා ද බොහෝ ප්‍රමාණයක් අපට මුණ ගැසෙනවා. එම නිසා එය සංශෝදනය විය යුතු ය යන්න මාගේ අදහස යි.

      ————–

      අනිත් අතින්, කුමණ කරුණක් මත හෝ පැවිදි බිමට පත් වී, එහි විනය උල්ලංගනය කරමින් රැදී සිටින්න පිරිස සාධාරණීකරණය කරන්නට හෝ, නව මිනුම් දඩු හදුන්වා දී, ඔවුන් කරණ දෙය ගැටලුවක් නැහැ කියන තත්වයට වැටෙන්නට මට කිසිසේත් ම බැහැ. එතුළින් වන්නේ, බුදු සසුන වැනසීම විනා, සුරැකීම නොවේ. තුවාලය ඔඩු දිවීම විනා සනීප වීම නො වේ. එම නිසා ම යි විනය සංගායනාවක අවශ්‍යතාවය බුදු සසුනට අවශ්‍ය වන්නේ…

  • //සැබැවින් ම බුද්ධවචනය ගැන පැහැදීම ඇති කරගෙන, ධර්මහේ හැසිරීම උදෙසා පැවිදි වී…//
    මෙහෙම අය ගෑන නෙවෙයි මා අදහස් කළේ. කුඩා දරුවන් ලෙස ‘මහණ කරන ලද’ පිරිසයි. ඒ වගේම ඔවුන්ගෙනුත් වෑඩිදෙනෙක් හෑකි පමණින් තමන් හරිය කියා සිතන ආස්ථාන වල සිට සමාජයට වෑඩක් කරනවාය යනු මගේ හෑඟීමයි. ඔවුන්ට සිදුව ඈති අපරාදයයි මා පෙන්වා දුන්නේ. ඒ නිසා ඒ වාක්යය සුදුසු පරිදි සංශොධනය වෙන්න ඔන.

    //කුමණ කරුණක් මත හෝ පැවිදි බිමට පත් වී, එහි විනය උල්ලංගනය කරමින් රැදී සිටින පිරිස සාධාරණීකරණය කරන්නට…//
    මා කළේ ප්‍රශ්නය පෙන්වා දීම. තල වපුරා මුං ලබන්න බෑ. මුං ඔන නම් මුං වපුරන්න ඔන. ඒ නිසයි මම කීවේ “කළ යුත්තේ මහණවෙන්න ඕන අයට මහණ වෙන්නත් ආදරේ කරන්න ඕන අයට ආදරේ කරන්නත් බොන්න කැමති අයට බොන්නත් පුළුවං නිදහස් සමාජයක් ගොඩනගා ගන්න එක.” කියල. එතකොට වෑපිරෙන්නෙ මුං. අස්වෑන්නත් මුං ම වේවි.

    //එතුළින් වන්නේ, බුදු සසුන වැනසීම විනා…// දෑන් වෙන්නෙත් ඒකම නේද? මම අදහස් කළේ කාටවත් දෑන් සතුටින් ඉන්න බෑ නේ ද? ආදරේ කරන්න ඔන අයට ආදරේ කරන්න නෑ. කලා කාරයෙක්ට නිර්මාණයක් කරන්න නෑ. රටේ සියළු ජාතීන් ඈතුලත් වන ආකාරයේ වන කිසිම දේශපාලන වෙනසක් කරන්න බෑ. මේ තත්ත්වය යටතේ සාසනය පමණක් නොව අපි සියළු දෙනාම වෑනසෙන තත්ත්වයක් නේද තියෙන්නේ.

  • @ තරු

    පොඩි එකතු කිරීමක්,
    මම ඔයා යොජනා කළ විසඳුම ගෑන ගොඩාක් හිතුවා. සංගායනාවක්..! කව්ද ඒක කරන්නේ, කොහොමද එහෙම දෙයක් කරවන්න බලපෑම් කරන්නේ වගේ දේවල්. නමුත් මට කිසිම පිළිතුරක් ලෑබුණේ නෑ. අවසානේ මට හෑඟුණු දේ තමයි ඒක කවදාවත් වෙන්නේ නෑ කියන එක. තරහ වෙන්න එපා. ඒ මට හිතෙන හෑටි. ඒ කියන්නෙ දිගටම පොඩිවුන් මහණ කිරීමත් උන්ගේ ජීවිත කාලකණ්නි වීමත් සිදු වේවි. අපි මේ කතාකළ දේවලුත් ඒවා ලියන්න ගත කළ කාලයත් කිසිත් අර්ථයක් නෑති දේ බවට පත් වේවි. ඒත් මට හිතෙන දේ තමයි මේ අදහස් අපිට සමාජගත කරන්න පුළුවන්නම්… එතකොට කතිකාවක් ගොඩ නෑගෙයි. එය සමාජ මතයක් වෙයි. ඒකෙන් ප්‍රතිඵලයක් ලෑබෙයි. ලේබල්නම් වදියි. ඒත් මම හිතනවා එය වඩා ප්‍රායොගිකයි කියල.

    • තරු

      ඇත්තෙන්ම, පොඩිවුන් මහණ කිරීමට විරුද්ධ ව සමාජමතයක් ගොඩ නැගීමට නම් මාත් එකග යි..

      • Glad to see that everyone here is against recruiting child soldiers to any institution. The reason for me to be against child soldiers of any kind is very similar. Until children are mature enough to weigh out the options available, no one should be depriving children from the mainstream lifestyle choices, and put them in to a restrictive environment where they cannot be a “child” anymore. It is a cruel thing to do.

  • Ansh Lucky Sri Jay

    කාලෙකින්…
    සතුටුයි මෙහෙම ලිපියකින් වත් බ්ලොග් අවකාශයේ දකින්න ලැබීම.
    අර දිනපොත ලියමු නේද?

  • මම පළවෙනි පාරට තමයි මේ බ්ලොග් එකට ගොඩ වුනේ… කියන්න දෙයක් නෑ… 100% ක් එකඟයි කතාවට… මගෙත් හීරලු යාලුවෝ ඉන්නවා කිහිප දෙනෙක්ම… උන් සිවුරෙ හිටපු කාලේ ජීවිතෙ ගැන මට හොඳ අත්දැකීම් තියනවා.. ඇත්ත ලියන්න… ජය වේවා….

  • සරත් පොන්සෙකා

    මෙක මහ විකාර සාකච්චාවක්…

Leave a Reply

 

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


lankeeya sithuwili

යන එන ඇත්තෝ